මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ප්රචණ්ඩ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ට ඉතා අමානුෂික ලෙස පහරදී ඇති බව ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව, හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් එම නිලධාරීන් මියගොස් ඇති බව හෙළි වී ඇත.
පසුගිය ජූලි 5 සහ 6 දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්රචණ්ඩ සිද්ධියෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු පුද්ගලයන් 24 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ පංච පුද්ගල අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.
ඒ අනුව, මරණ 14ක් වෙඩි වැදීමෙන් සිදුව ඇති බවත්, තවත් මරණ 9ක් පහරදීම් හේතුවෙන් සිදුව ඇති බවත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. එක් මරණයක් සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී තිබේ.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බන්ධනාගාර නියාමකවරයාගේ මරණය සම්බන්ධයෙන් ද අද (09) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, එම මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි විමසීම ද අවසන් කර ඇත.
මීගමුව රෝහලේ තැන්පත් කර තිබූ මෘතදේහ 28 අතරින් 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණ අවසන් කර මෘතදේහ ඔවුන්ගේ ඥාතීන්ට භාරදී ඇති අතර, ඉතිරි මෘතදේහ හතර සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ මේ වන විටත් සිදු කෙරෙමින් පවතී. එම පිරිස අතර ඉන්දීය ජාතිකයකු ද සිටින බව වාර්තා වේ.
මෙම සිද්ධියට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වෛද්‍ය සුජීව වික්‍රමනායකගේ සභාපතිත්වයෙන් පංච පුද්ගල අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් පත් කර තිබේ. එම කණ්ඩායමට වෛද්‍ය ප්‍රසන්න අප්පුහාමි, වෛද්‍ය සමන්ත විජේරත්න, වෛද්‍ය සමින්ද රාජපක්ෂ සහ වෛද්‍ය රමේෂ් අග්ගියාවන්න යන වෛද්‍යවරුන් ඇතුළත් වෙති.