Skip to main content

360 News

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දෙදින ඉන්දුනීසියානු සංචාරය ආරම්භ වනවිට ඉන්දුනීසියාවට ‘බ්‍රාමෝස්’ (BrahMos) සුපර්සොනික් කෲස් මිසයිල සහ ‘ඇස්ට්‍රා’ (Astra) ගුවන් ඉලක්ක නාශක මිසයිල සැපයීමට ඉන්දියාව පියවර ගන්නා බව ඉන්දීය රජයේ නිලධාරියෙක් පසුගියදා ප්‍රකාශ කලේය.

ඇමරිකානු ඩොලර් මිලියන 630ක් පමණ වටිනා මෙම ආරක්ෂක ගිවිසුම අග්‍රාමාත්‍ය මෝදිගේ මෙම සංචාරය අතරතුරදී අත්සන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ඉන්දීය ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මීට පෙර වාර්තා කර තිබුණි.

BrahMos Aerospace පෞද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන මෙම මිසයිල මිලදී ගැනීම සඳහා ගිවිසුම්ගත වන ලොව තුන්වැනි රට බවට මින් ඉන්දුනීසියාව පත්වනු ඇත.

ඉන්දු-පැසිෆික් කලාපයේ බලය තහවුරු කරගැනීම සඳහා චීනය සමග පවතින තරගකාරීත්වය හමුවේ, අග්නිදිග ආසියාවේ විශාලතම ආර්ථිකය හිමි ඉන්දුනීසියාව සමග උපායමාර්ගික සබඳතා ශක්තිමත් කරගැනීමටත්, ඉන්දියාවේ ආරක්ෂක අපනයන ක්ෂේත්‍රය විශාල ලෙස ප්‍රසාරණය කරගැනීමටත් මෙම ගිවිසුම මඟින් අවස්ථාව සැලසේ.

ඉන්දියාව සහ රුසියාව ඒකාබද්ධව නිපදවන ලද බ්‍රාමෝස් මිසයිල, ලොව වේගවත්ම කෲස් මිසයිල අතරින් එකක් වන අතර ඒවා ගොඩබිම, මුහුද මෙන්ම ගුවන් යානා මගින් ද දියත් කිරීමේ හැකියාව පවතියි.

එමෙන්ම, ‘ඇස්ට්‍රා’ ගුවන් ඉලක්ක නාශක මිසයිල ඉන්දුනීසියානු ගුවන් හමුදාව සතු රුසියාවේ නිෂ්පාදිත ‘සුකෝයි’ ප්‍රහාරක ජෙට් යානා සමග සම්බන්ධ කර භාවිත කිරීමට ද හැකියාව තිබේ.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් ඉල්ලා මීට පෙර යොමු කළ විද්‍යුත් ලිපි සඳහා ඉන්දීය රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති අතර, නවදිල්ලි නුවර පිහිටි ඉන්දුනීසියානු තානාපති කාර්යාලය ද මේ පිළිබඳව වහාම අදහස් දැක්වීමෙන් වැළකී සිටියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *