
අද උදෑසන මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය හේතුකොට ගෙන මේ වන විට ඒ අවට ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු යොදා තිබේ.
බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් ඉන් පිටතට රැගෙන යාමේ කටයුතු මේ වන විට තවමත් සිදුවෙමින් පවතී. ඔවුන් මහනුවර පල්ලකැලේ පිහිටි බෝගම්බර එළිමහන් බන්ධනාගාරය වෙත රැගෙන යන බව වාර්තා වේ.
එමෙන්ම එහි රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයින් අද උදෑසන සිට තවමත් එම ස්ථානයේ රැඳී සිටින්නේ තම සමීපතයින්ට සිදු වූයේ කුමක්ද යන්න නිශ්චිතවම දැනගැනීම සඳහායි.
ඊයේ (05) බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම අද (06) දින උදෑසන උත්සන්න විය.
පොලීසිය සඳහන් කළ ආකාරයට මෙම ගැටුම මීගමුව බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් පිරිසක් සහ දඬුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර සිදුව ඇත.
උදෑසන 10.00ට පමණ ඇති වූ මෙම උණුසුම් තත්ත්වය හමුවේ රැඳවියන් පාලනය කර ගැනීමට ආරක්ෂක අංශවලට මහත් පරිශ්රමයක් දැරීමට සිදු විය.
අනතුරුව ආරක්ෂක අංශ සාමාජිකයන් තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාරය තුළට ඇතුළු විය.
ඉන් අනතුරුව ඒ තුළින් ඇසුණු වෙඩි හඬ සමඟ යළිත් වරක් බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් එම පරිශ්රය වෙත පැමිණ විරෝධතා දැක්වීමට පටන් ගත් අතර එම තත්ත්වය පාලනය කිරීමට ද පොලිසියට විශේෂ පරිශ්රමයක් දැරීමට සිදු ව ඇත.
එම ස්ථානයේ පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්රී ලංකා යුධ හමුදාව සහ ගුවන් හමුදාව ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශ කැඳවීමට ද මේ මොහොතේ කටයුතු කොට ඇති ආකාරයක් දැක ගැනීමට තිබේ.
ගැටුමෙන් බන්ධනාගාර නිළධාරීන් ඇතුළු 26දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
ඒ අතර බන්ධනාගාර නිළධාරීන් හත්දෙනෙකු සිටින බව වාර්තා වේ. එමෙන්ම 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වේ.