
මේ දිනවල සුලභව ම කතාබහට ලක්වන මාතෘකාවක් බවට ඩෙංගු රෝග ව්‍යාප්තිය සැලකිය හැකිය. වාර්ෂිකව විශාල ප්රතිශතයක රෝගීන් වාර්තා වන පසුබිමක 2026 වර්ශයේ මේ දක්වා කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 56,422ක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 35 ක්ද වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
එමෙන්ම මේ වන විට දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකම පාහේ රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඇති බව ද එම ඒකකය සඳහන් කරයි. පසුගිය කාලසීමාව තුළ පැවති අධික වර්ෂාපතන තත්වය මත වතුර එක්රැස් වන ස්ථානවල ඩෙංගු මදුරුවන් බිත්තර දැමීම සමඟ මෙලෙස සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්වන බව අනුමාන කරයි.
ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන මදුරු විශේෂය ලෙස ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් විශේෂයන්හි ගැහැණු මදුරුවන් දැක්විය හැකිය. මෙම සත්ත්වයින්ගේ ශරීරයේ සුදු පැහැති තිත් හෝ ඉරි ආකාර දැකගත හැකිය.මොවුන් ප්‍රධාන වශයෙන්ම ජලය රැඳෙන එනම් මිනිසා විසින් ජලය එක්රැස් කිරීමට සකස් කරගත් හෝ මිනිසා විසින් ඉවතලන ජලය රැඳෙන ස්ථානවල පිරිසිදු ජලයේ බිත්තර දැමීම සිදු කරයි. එමෙන්ම මෙම මදුරුවන්ගේ බිත්තර ජලය නොමැතිව වුවද වියලි පරිසර තත්ත්ව තුළ මාස කිහිපයක් සක්‍රීයව පවතියි. විශේෂයෙන්ම දිවා කාලයේ මොවුන් සක්‍රීයත්වයට පත්වන අතර ආසාධිත රෝගියෙකුට මෙම මදුරුවෙකු දශ්ඨ කිරිම සමඟ එම වෛරසය රෝගියාගේ රුධිරයේ තිබී මදුරුවා හරහා තවත් නිරෝගී පුද්ගලයකුට දශ්ඨ කිරීම මඟින් රුධිරය හරහා ව්‍යාප්ත වීම සිදු වේ.
මෙම ඩෙංගු රෝගයේ දර්ශක අගයන් සඳහන් වන අතර (දර්ශක 1,2,3 සහ 4) මෙමගින් ඩෙංගු රක්තපාත තත්ත්වය ඇති වන්නේ මින් පෙර ඩෙංගු රෝගය වැළඳී සුව වූ අයෙකුට නැවත එම රෝගය ආසාදන වීම සමග ප්‍රතිශක්තිකරණය හීන වීම මඟිනි. සාමාන්‍යයෙන් ප්‍රතිදේහ හරහා ප්‍රතිශක්තියක් ශරීරය තුළ නිර්මාණය කළද ඩෙංගු රෝගයේ දී එම වෛරසයේ එක් දර්ශකයක් මඟින් ඇති කළ ප්‍රතිදේහ තවත් දර්ශකයක් ඇතුල් වීමත් සමඟ ශරීරය තුළ වෛරසය වර්ධනය වීමට අවස්ථාව සැළසීමයි. මෙම තත්ත්වය මත සුලබවම ඩෙංගු රක්තපාත තත්ත්වය ඇති වේ.
ඩෙංගු රෝගී තත්වයේ දී විශේෂයෙන්ම හදිසි උණ තත්වයන්, ඇඟපත වේදනාව, තද හිසරදය, සමෙහි රතු පැහැති ලප මතු වීම, වමනය වැනි ලක්ෂණ ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර දින තුනකට වඩා උණ පවතියි නම් පැරසිටමෝල් පමණක් භාවිතා කොට වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. කෙසේ වෙතත් මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීම සහ එවැනි සාධක තත්වයන් වන යෝගට් කෝප්ප,ශොපින් බෑග්, කිරි හට්ටි,තැඹිලි කෝම්බ ආදිය නිසි ආකාරයෙන් බැහැර කිරීමත් ගෘහාශ්‍රිත ජල විල් තුළ මසුන් ඇති කිරීම හෝ ලුණු යෙදීම, ජලය එක්රැස් වන විසිතුරු ශාක නිරන්තර නිරීක්ෂණය කොට ජලය රැස් නොවීමට කටයුතු කිරීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මඟින් මෙම තත්ත්වය අවම කර ගත හැකිය.
කෙසේ වෙතත් තම ගෘහාශ්‍රිතව මෙන්ම රැකියා ස්ථානයන් හි පවා මේ ආකාරයෙන් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරලීමට කටයුතු කිරීම මඟින් මෙම රෝග ව්‍යාප්තිය සැලකිය යුතු මට්ටමකට පාලනයට ලක් කළ හැකිය. එමෙන්ම ප්‍රජා ව්‍යාපෘති හෝ දියත් කරමින් ග්‍රාමීය මට්ටමින් ස්වකීය ප්‍රදේශ පිරිසිදු කිරීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය මඟින්ද මෙම තත්වය අවම කර ගැනීමේ හැකියාව පවතියි. මෙලෙස කටයුතු කිරීම මඟින් ඩෙංගු මදුරුවාගේ ග්‍රහණයට ලක් ව ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන ජීවිතයක් රැක ගැනීමට අවස්ථාව උදා කරගත හැකිය. එය ස්වකීය ගෙවත්ත තුළින්ම ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවක් ම වන්නේය.